පහන්තුඩාව
පහන්තුඩාව දිය ඇල්ල ශ්‍රී ලංකාවේ දිය ඇලි අතර ඇති තවත් සුවිශේෂී නිර්මාණයකි. එයට හේතුව එහි පිහිටීම සහ ස්වභාවයයි. මෙම දිය ඇල්ල ස්වාභාවික පිහිටීම නිසා පහන්තුඩාව ලෙසද හැඳින්වේ. මෙම දිය ඇල්ලට වැටෙන දිය ඇල්ල ලාම්පු හැඩයේ ය. දිය ඇල්ලෙන් පහන් තිරයක් මෙන් ජලය තටාකයට වැටේ. එබැවින් පහන්තුඩාව ඇල්ල යන නම ලැබුණි.
පහන්තුඩා දිය ඇල්ල පිහිටා ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කයේ බෙලිහුල්ඔය සිට කි.මී 1.5 ක්. එහි උස මීටර් 5 (අඩි 16.4)කි. එහි නම ලැබී ඇත්තේ එහි පහළ තටාකය “පහන” හැඩයෙන්, බෞද්ධ පන්සල් වල භාවිතා කරන මැටි පහනක් මෙන් පැවතීමත්, පහනට පොල්තෙල් වක්කරනවා මෙන් ජලය එම තටාකයට වැටෙන ලීලාව නිසාවෙනි. මේ දියඇල්ල දිගුවිහිදුම් දියඇලි වර්ගයට අයත්ය. දියඇල්ල පිහිටි කදු පන්තිය ෆලඩ් මවුන්ටන් ලෙස හඳුන්වනු ලබයි.
පහන්තුඩා දිය ඇල්ල බෙලිහුල් ඔය ජලාශය පෝෂනය කරන අතු ගංගාවකි. එහි අද්භූත සුන්දරත්වය සහ සන්සුන් ස්වාභාවික පරිසරය නිසා එය සංචාරකයින් අතර බෙහෙවින් ජනප්‍රියත්වයට පත්ව ඇත. පහන්තුඩා දිය ඇල්ල වෙත නැඟීම වනාන්තරයක් හරහා ගමන් කිරීමට සිදුවන අතර එය දැඩි කඳු නැගීමට කැමති අයගේ සිත් ඇදගන්නා සුළු රාසජනක අත්දැකීමක් බවට පත් කරයි. මෙම දිය ඇල්ල අවට ප්‍රදේශවාසීන් සඳහා ජල විදුලිය සපයන කුඩා ජල විදුලි බලාගාරයකට දැවැන්ත ශක්තියක් මෙම ජල පහරින් ලබාදෙයි.
මෙම දිය ඇල්ලේ තවත් වැදගත් ලක්ෂණයක් නම් ජෛව විවිධත්වයෙන් පොහොසත් සුන්දර පරිසර පද්ධතියක පිහිටා තිබීමයි. වටිනා ශාක හා සත්ත්ව විශේෂ මෙම පරිසර පද්ධතිය තුළ දක්නට ඇත. මෙම දිය ඇල්ල හා සම්බන්ධ විවිධ විවිධ ජනප්‍රවාද ද අසන්නට ලැබේ. පිරිමියකු විසින් ඇති කර ගන්නා ලද පවුල් ආරවුලක් නිසාවෙන්, මෙම ස්ථානයට පැමිණ, මෙම ස්ථානයේ ගල් පතුරු දෙකක් ඔහුගේ ඉනේ බැඳගෙන මෙම තටාකයට පැන සියදිවි නසාගත් බව ජනප්‍රවාද වල දැක්වෙන අතර එම නිසා මෙම ජල තටාකය මිනිසුන් බිලිගන්නා ජල රකුසෙකු ලෙස හඳුන්වනු ලබයි.එම නිසා මෙම ස්ථානයේ ස්නානය කිරීම තරමක් අනතුරුදායක ය. මෙහි ගැමියන් පවසන්නේ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට අධික වර්ෂාව ලැබුණු පසු විනාඩි 5- 10 වැනි කෙටි කාලයක් තුළ මෙම ප්‍රදේශ සම්පුර්ණයෙන්ම ජලයෙන් යට වී යන බවයි. එම නිසා මෙම ස්ථානයේ දිය නෑම ඉතා අනතුරුදායක බව ප්‍රදේශවාසීන් ප්‍රකාශ කරයි.
සොබාදහමේ සුන්දර නිර්මානයක් ලෙස හඳුනාගත හැකි පහන්තුඩාව දිය ඇල්ල සංරක්ෂණය කිරීම සියලු දෙස් විදෙස් සංචාරකයින්ගේ වගකීමකි. මෙම ස්ථානය අසල සමනල වැව සංචාරක කලාපයේ සිසිල්බව, පහසුව මෙන්ම ආවේණික ශාක හා සත්ව විශේෂයන් ද ඇත. එම මිල කළ නොහැකි සුන්දර දසුන් දැක ගැනීමට මෙම ස්ථානයට පැමිණිය හැකිය.
මෙම සුන්දර පාරාදීසය සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ සමනලවැව සංචාරක කලාපයේ බෙලිහුල්ඔය ප්‍රදේශයේ පිහිටා ඇති අතර එය ජනප්‍රිය සංචාරක ගමනාන්තයකි. මෙහි ඇති ස්වාභාවික සෞන්දර්යාත්මක වටිනාකම හේතුවෙන් මෙම ස්ථානය දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ෂණයට ලක් වේ. ඉතාමත් සුන්දර ස්ථානයක් ලෙස මෙම පහන්තුඩාව දිය ඇල්ල විස්තර කළ හැකිය.
ප්‍රසිද්ධ බෙලිහුල්ඔය තානායම අසල ( කොළඹ බදුල්ල මාර්ගයේ ) 155 වන කි.මී. කණුව අසලින් මෙම ස්ථානයට ගමන් ගන්නා මාර්ගය වැටී ඇත. එතැනින් ලන්දුයාය පාරේ වමට හැරී කි.මී 2 ක් පමණ ගිය විට ඔබට මුහුදු බලය නමින් පෞද්ගලික බලාගාරයක් දැක ගත හැකිය. එතැනින් පහළට යන විට පහන්තුඩාවෙන් ගලා බසින දිය දහරක් ඔබට දැක ගත හැකිය. ඔබට දිය ඇල්ල දැක ගැනීමට අවශ්‍ය නම් එම දිය පාර දිගේ තවත් මීටර් 200 ක් යා යුතුය. එහිදී ඔබට ජල විදුලි බලාගාරය සඳහා ජලය රැගෙන යාමට සකස් කරන ලද කුඩා වෙලා දක්නට ලැබෙන අතර එම වේල පසුකර තවත් ඉහළට යත්ම මෙම දියඇල්ල සහිත මනරම් ජල තටාකය හමු වනු ලැබේ.
මෙම පරිසරය තුළ ඇති ගුප්ත ස්වභාවය, මනස්කාන්ත වූ සුන්දරත්වය නිසාවෙන් සංචාරක ආකර්ෂණය දිනාගත් ස්ථානයක් වුවද මෙම ස්ථානය මානුෂීය ක්‍රියාකාරකම් නිසාවෙන් කැලිකසල වලින් බහුල ප්‍රදේශයක් වීමට අනාගතයේදී ඉඩ ඇත.එම නිසා ඔබ සංචාරය කරන්නෙකු නම් මෙහි සුන්දරත්වය විනාශ නොකර තවකෙකු හට එම සුන්දරත්වය විඳීමට එම පරිසරය ආරක්ෂා කර ගැනීමට හැකි උපරිම සහයෝගය ලබාදෙන මෙන් පරිසරවේදියකු,සංචාරකයෙකු ලෙස අපගේ දේශීය සංචාරකයන් ගෙන් ඉල්ලා සිටිමි.
කැලණිය විශ්ව විද්‍යාලය
kasunkumaraj@gmail.com
No comments:
Post a Comment